Wednesday, January 20, 2016

අවදි වීම

නින්දෙන් ඇහැරුනු මට මුලින්ම ඇහැට වැටුනෙ , කෝච්ච් පෙට්ටියේ මැද පොල්ලට හේත්තු වුන,
තාත්තව බදාගෙන, හිටගෙන, බාගෙට නිදන් උන්න කිරිසප්ප කෙල්ලයි කොල්ලයි.
කොල්ලට අවුරුදු 5ක්, කෙල්ලටත් 7ක් ඇති අඩු මිසක් වැඩි නෑ.
පොඩි කොල්ලා බාගෙට ඇරුනු ඇස් දෙකෙන් මා දිහා බලන් හිටියෙ හරියට, අපි කන්න අතට ගත්ත කෑමක් දිහා බලන් ඉන්න බඩගිනි වෙච්ච පුංචි බලු පැටියෙක් වගේ.
එක පාරම මම නැගිට්ට නෙමෙයි, ඉබේම නැගිට්ටුනේ, පොඩි උන්ගෙ තාත්තගෙ අතට තට්ටුවක් දාන ගමන්.
ඒ සැනින් නින්දෙන් නැගිට්ට පොඩි උන් දෙන්න තාත්තගෙ මූනෙන් අවසරය අරගෙන මගෙන් හිස් වෙච්ච සීට් එක උඩට පැන්නෙ නින්දෙන්මමද කොහෙද...
වැටුනු ටිකට නිදාගත්ත අක්කට, හේත්තු වුන පොඩි කොලුවා,
උගේ ඉස්සරහ ඇන්දෙ වැටුනු දත් දෙක අතර හිඩසට දිව තද කරල,
මට පුංචි හිනාවකින් සංග්‍රහ කරල එහෙම්මම නින්දට වැටුනා.


Thursday, June 26, 2014

බොහෝ දේ වෙනස් වී ඇත.

නතරකළ මෝටර් රථයේ, රියදුරු අසුන හැර නොගිය මා, ඉදිරියේ දිස්වූ විචිත්‍රවත් වන දසුන දෙස මොහොහොතක් බලා සිටියෙමි....
ඒ සොඳුරු දසුන නම් සැබවින්ම හුරුපුරුදුය.
දෙනෙත්ලොකු කර.. නිකට උස් කර.. නළල ‍රැලි නොකර.. ඕනෑකමින් කිසිවක් දෙස බලා සිටිනා.. ඒ අසමසම වූ ඇගේ පියකරු වතමඩල, එවිටම
මොහොතකට මදෙස බලා  විරිත්තුම්  සිනහවකින් මට සංග්‍රහ කළාය.
ඒ නිලැති ඩෙනිම් කලිසම, දම් පාට ටී-ෂර්ටය, මගේ සොදුරු මතක පොතේ මුල් පි‍ටු වර්ණ ගැන්වූ බව මට හොඳ හැටි මතකය.
කලකට පෙර ලැජ්ජාවෙන්,බයෙන්, චකිතයෙන්, කුමක් කරම්දෝ යැයි සිතාගත නොහැකිව මා, මේ වූ සොඳුරු දසුනම පසුකර ගිය බව.. ඒ මුල් පි‍ටු අහල පහළම ලියවී ඇතුවාට සැකයක් නැත.
ඔව් ඒ මගේ සොඳුරු අතීතයයි... වැඩි ඈතක නොවූ ඒ මිහිරි මතක ගොන්නයි.
ඉණ දෙපදෙසින් ටී-ෂර්ටය ඉදිරියට තල්ලු කළ ඒ හුරතල් ‍රැල්ල එදාට වඩා අද ආඩම්බරයෙන් තවත් අඟල් කිහිපයක් ඉදිරියට නෙරා විත් ඇති බවක් මට සිතේ.
වෙනස් වූ එකම දෙය එය පමණක්ම නොවේ......
තව සුලු මොහොතකින් ඇය පැමිණ මගේ වම් පසින් අසුන් ගනු ඇත.


Wednesday, February 5, 2014

ජෝෂුවා, නික්ලස් කොපර්නිකස් සහ අපේ ආච්චි

ජෝෂුවා 10
ජෝෂුවා සමිඳාණන් වහන්සේට කතා කොට, මුළු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් හමුයෙහි මෙසේ කීවේය:
"එම්බා සූර්යය! ගිබියොන්ට ඉහළින් නොසෙල්වී සිටින්න;
එම්බා චන්ද්‍රය! අයාලෝන් මිටියාවත ඉහළින් එසේම සිටින්න."
13 එවිට සෙනඟ තමන්ගේ සතුරන්ගෙන් පළිගන්න තුරු සූර්යයා නැවතී සිටියේය; චන්ද්‍රයාද නැවතුණේය. සූර්යයා සම්පූර්ණ දවසක් පමණ බැස යාමට ඉක්මන් නොවී අහස මැද සිටියේය.

ආච්චී මේ බයිබලේ තියෙන්නෙ හෙණ බොරුනේ... ජෝෂුවා ඉර කැරකෙන එක නැවැත්තුවා කියන්නේ…..

බොරු!.. මොනවද බොරු... ඔව්! ඉර නැවැත්තුවා තමයි..ජෝෂුවා දෙවියන් වහන්සේගේ බලයෙන්, ඉරත් කැරකෙන එක නැවැත්තුවා.. උඹ මොනවද දන්නේ...

අනේ ආච්චි නිකන් බොරු කියන්න එපා.. ඉර නවත්වන්න දෙයක් නෑ ඉර නැවතිලා තමයි තියෙන්නෙ. පොළොවයි එයා වටේම කැරකි කැරකි ඉර වටේ කැරකෙන්නෙ.. පොළොවෙ ඉන්න අපිට පේන්නේ, ඉර කැරකෙනවා වගේ වුණාටඇත්තටම කැරකෙන්නේ පොළවයි.

කවුද කියන්නේ..? කොහොමද එහෙම කියන්නේ..?

මේ ආචිචි දන්නෙ නැති වුණාට මුලු ලෝකෙම ඒක දන්නවා.. ඉන්න ආච්චිට ඉස්කෝලේ විද්‍යා පොතම පෙන්නල තේරුම් කරල දෙන්න



පෘථිවිය තමා වටේ භ්‍රමණය වෙමින්, සූර්යයා වටා පරිභ්‍රමණය වන ප්‍රථමයෙන්ම සොයා ගත්තේ පෝලන්ත ජාතික විද්‍යාඥයෙකු වන නික්ලස් කොපර්නිකස් විසිනි. ක්‍රි. ව. 1543 දී කළ ඔහුගේ මේ ශ්‍රේෂ්ඨ සොයා ගැනීමත් සමඟ අතීතයේ පැවති සූර්යයා පෘථිවිය වටා කැරකැවෙන බවට තිබූ මතය බිඳ වැ‍ටුණි. තවද....




ඇත්ද ආච්චි තව ඕනෙද... ඔන්න බයිබලේ,ජෝෂුවා පොළොව කැරකැවෙන එක නැවැත්වුවා කියල ලියල තිබුනනම් ඔය වැඩේ වෙනව කියල පිළිගන්න පුළුවන්.

හරි එහෙනම් උඹේ ඔය විද්‍යා පොත පෙරළල මට කියපන්... කොච්චර කාලෙකට කලින් ඉඳන්ද පොළොව ඉර වටේ කැරකෙන්න පටන් අරන් තියෙන්නේ කියල...

ඒ.. ඒ..ක ඉතින් හොයාගෙන නෑ ඉතින් හරියටම.... මුල ඉඳලම එහෙම තමයි වෙලා තියෙන්නෙ..

මුල ඉඳන් කිව්වෙ කව්ද ඉඳන්ද?

ඒක ඉතින් පොතේ නෑ....

ආ එහෙනම් උඹ මේක හොඳට අහගනින්.. බයිබලේ බොරු ලියල නෑ... උඹ කියනවනම්.. ඉරයි නැවතිලා තියෙන්නෙ කියල හරි... එහෙනම් එදා, ජෝෂුවා ඉර නවත්වපු දවසෙ තමයි හරියටම, ඉර පොළොව වටේ කැරකෙන එක, නැවතිලා තියෙන්නෙ. ඔන්න ඊට පස්සෙ තමයි, පොළොව ඉර වටේ කැරකෙන්න පටන් අරන් තියෙන්නෙ.


[ඉහතින් සඳහන් වන්නේ කුඩා දරුවෙකු සහ ඔහුගේ මිත්තනිය අතර ඇතිවුණු සත්‍ය දෙබසකි. මෙහි අරමුණ කිතුනු විශ්වාස වලට පහර ගැසීම නොව, සාම්ප්‍රදායික කිතුනු විශ්වාසයේ කිසි විටෙකත් බිඳ නොවැටෙන දැඩි සවිමත් බව පසක් කර දීමයි.]

Friday, January 10, 2014

හිනා කාලා නැගිටිනවා!

කාලෙකට පස්සෙ exam අස්සෙම වුනත් මේ පැත්තෙ ඇවිත් යන්න හිතුනෙ රසවත් කථා වස්තුවක් සෙට් වෙච්ච නිසා..
ඔන්න ඉතින් කෙලින්ම කථාවට බහිමුකෝ...
මේක ගිය සතියෙ දවසක මගේ හොඳම යාලුවෙක් එක්ක වෙච්ච පොඩි talk එකක්!

යාලුවා : "මචං මාර සීන් එකනේ මම උඹව මැරිල ඉන්නව හීනෙන් දැක්කානේ.."

මම      : "අම්මට සිරි එහෙමද.... ඇත්ත වෙයිද දන්නෙ නෑ.."

යාලුවා :"අහපන්කෝ ඉතින් හොඳම සීන් එක.... උඹ දැන් මැරිල මිනි පෙට්ටියේ ඉන්නව.. අපේ සෙට්   එකම එතන ඉන්නව... බන්.. කට්ටියම හොඳටම අවුල් එකෙන්ම අඬනවා..
මම උඹ දිහා බලන් ඉඳලා ලඟට ගිහිල්ල නිකමට වගේ උඹේ බඩේ පැත්තට ඇඟිල්ලෙන් අනිනව.. අපි දන්නවනේ එතන උඹට කිචිනෙ බන්!"
වැඩේ කියන්නෙ මැරිල හිටිය උඹ එක පාරටම ගැස්සෙනවනේ"
"අපේ කට්ටියම ඒක දකිනව.... ඊට පස්සෙ සෙට් එකම එකතු වෙලා බඩ දෙපැත්තටම ඇන ඇන උඹව කිචි කවනවා.. එහෙන් අනිද්දී මෙහෙට ගැස්සෙනවා.. මෙහෙන් අනිද්දී එහෙට ගැස්සෙනවා අන්තිමටම උඹ ගැස්සිලා ගැස්සිලා එක පාරම නැගිටිනවනේ.."
"හිනා කාල මැරෙනව බන්.. ඒක මතක් වෙද්දී.."

මම    : "හිනා කාල මැරෙනව නෙමෙයි බන් ඒකට කියන්නෙ හිනා කාල නැගිටිනව කියල"



මේ විදිහට හිනා කාලා නැගිටින හීනේ දැකපු යාලුවා

Wednesday, August 21, 2013

ආදරය අන්ධයි!

දවල් 12 ට ඇඳට වැ‍ටුනු මට ඇහැරුනේ රෑ අටට..
missed කෝල් 33යි.. unread  මැසේජස්  හතරයි..
ඉතින් බැලුව එකින් එක කෝල් කර කර රීඩ් කර කර..

මගේ අඹ යහලුවෙක්ගෙන් මැසේජ් දෙකක්ම ඇවිත් තිබුනත් දෙපාර කියවනකොටයි තේරුනේ
යාලුවට ලොකු වැරදීමක් වෙලා වගේ කියල.....
හිනාව තද කරගෙන මැසේජ් දෙක කියවල ඉවර වෙනකොට නම්
මට හොඳට තේරුම් ගියා ආදරය අන්ධයි කියන්නේ නම් බොරුවට නෙමෙයි කියල.
නැත්නම් ෆෝන් බුක් එකේ කොන් දෙකක තියෙන නම් දෙකක් කොහොම පැටලෙන්නද?

[ගම් හෙලි කලත්, පෞද්ගලික හේතූන් මත නම්, නම් හෙළි නොකරමි..]

Message 1
අම්මි.... පන ගෙදර ආවා විතරයි වස්තුව..
ෆෝන් එක ගත්තෙ ඔයාට මැසේජ් එකක් දාන්න අම්මි.....
එතොකොට ම ඔයා කෝල් කළා හිතා ගන්න බෑ..

Message 2
නුවරින් ගේ හැදුවා මම තට්‍ටු
දිගනින් කෙල්ලෙක් ගත්තා කෙට්ටූ
ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටූ
කවද හරි නංගිව කරනව මට්‍ටු
දැක්කොත් අත් දෙකේ වැටෙනවා මාංචු
මට දැන් හිතෙනව වෙන්න කිට්‍ටු
එන්නකෝ මගේ හද නෑ සීට්‍ටු
ඒ කෙල්ලගෙ නම ස_____



Sunday, April 21, 2013

ජීව රසායනික විද්‍යාව

දුව ක්ලාස් යන්න පරක්කු වෙන්නෙ නැද්ද?
මොනවද ඔය කම්පියුටරය බදාගෙන තාමත් කරන්නේ..
හරි හරි අම්ම මේ ඉවරයි..










කලින් දවසේ chemistry  ක්ලාස් එකේ තේරෙන්නෙ නැති  ඒවා වගයක් ඉන්ටෙර්නෙට් එකේ සර්ච් කලා..
මේ chemistry නම් මට දැන් එපා වෙලා තියෙන්නේ!
එහෙම කියල කොහොමද තව මාස කීයද විභාගෙට.. ඔයාට අපි මෙච්චර වියදම් කරන්නෙ කොච්චර අමාරුවෙන්දඒකටම කැප වෙලා මහන්සිවුනොත් විතරයි ඉතින් .
හරි අයියෝ..  හැමදාම කියන එකනේ.
දැන් ඕක ඉවරයිනෙ ඉතින් ඉක්මනට යන්නකෝ. මේ දුව ඇරිල එනකොට බස් නැතිවුනොත් කෝල් එකක් දෙන්න, මම තාත්තව එවන්නම්. 
හරි අම්මා.. මම ගියා..

හෙලෝ.. හෙලෝ.. මේ මට ඔයාව අද මීට් වෙන්න ඕනේ. .....  ක්ලාස් යන්න බෑ අනේ අද මගෙ හිතට හරි නෑ වගේ.... එන්න එහෙනම්! මම පුරුදු තැන බලන් ඉන්නවා එන්න හරී.. බායි.

{    

        #$#@#$#$%%%^&&*(())*&^%$#@!$$~!@#$%^&*(*^%$#@!@ \theta = {[L]^n \over K_d + [L]^n} = {[L]^n \over (K_A)^n + [L]^n} = {1 \over ({K_A \over [L]})^n+1}
       #@#$#$%%%^&&*(())*&^%$#@!$$~!@#$%^&*($#%@#@%$@
 }

චූටි ඔයාව අද ගෙදරටම ඇරලන්නද?
පිස්සා! හොඳට තියෙයි.

හෙලෝ අම්මා... අද ක්ලාස් ඉවරවෙන්න පරක්කු වුනා.. තාත්තව එවනවද ඉක්මනට! මාර මහන්සියි අම්මා..


Sunday, March 17, 2013

පෙරවරණය - (PreSelection) --> අතිශයින්ම පිරිමින්ට පමණයි.


මනුෂ්‍ය පිරිමි සත්ත්වයෙකු විසින් ගැහැනු සත්ත්වයෙකු ආකර්ෂණය කර ගැනීමෙහි ලා බලපානු ලබන මූලික සාධක මොනවාද?
1. මුදල්
2. හැඩිදැඩි දේහ ලක්ෂන
3. කඩවසම් පෙනුම හා පෞරුෂය

මෙතුවක් කල් මෙම දැවෙන ප්‍රශ්නයට පිළිතුර ඉහත සාධක තුනෙන් එකක් හෝ කිහිපයක් යැයි  ඔබ සිතා සිටියානම්, ලෝකයේ බොහෝ පිරිමින් මෙන්, ඔබද මුලාවට පත්වී ඇති බව කිව යුතුමය. සත්‍යනම් ඉහත සාධක තුනම අභිබවන මහා පොදු සාධකයක් පවතින බව තවමත් ඔබේ නෙත නොගැටීමයි.
එය නම්, 'පෙරවරණය' නම් වූ විශ්වීය සංකල්පයයි. මෙසේ සිතන්න!
මුදල්, හැඩිදැඩි දේහ ලක්ෂන, කඩවසම් මුහුන හා පෞරුශය යන සාධක සෑම අතින්ම එකිනෙකට සමාන පිරිමින් දෙදෙනෙක් සලකන්න.
මොවුන් දෙදෙනාගෙන් කෙනෙකුට ස්ත්‍රීයයක ආකර්ශනය වේ නම්,
එම ස්ත්‍රීයය අනිවාර්යයෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ආකර්ශයන වන්නේ, ඉහත පිරිමින් දෙදෙනා අතුරින්, එම ස්ත්‍රීය දැනුවත්ව, මින් පෙර වැඩිම ස්ත්‍රීන් පිරිසකගේ ආකර්ශනයට බඳුන් වී ඇති පිරිමියාවයි. එනම් බහුතර ස්ත්‍රීන් පිරිසක් විසින් පෙරවරණය වූ පිරිමියාවයි.

  • ඔබ සතුව, මුදල් , හැඩිදැඩිදේහ ලක්ෂන, කඩවසම් පෙනුම හා පෞරුෂය හෝ කිසිවක් නොපවතීද, එහෙත් ඔබට ස්ත්‍රීයයක් ආකර්ශනය කර ගැනීමට අවශ්‍යද?

කළ යුත්තේ මෙපමනයි, ඔබ කෙරෙහි විශාල ලෙස ස්ත්‍රීන් වශී වී සිටින බව කුමන හෝ ක්‍රමයකින් ඇයට ඒත්තු ගැන්වීමක් හෝ මවා පෑමක් සිදු කිරීම පමණමයි, එසේ හැකි නම් ඇය නිතැනින් ඔබට  ආකර්ශණය වනු නොඅනුමානයි.
...................................................................[මතු සම්බන්ධයි]......................................................................


Pages