Friday, July 20, 2012

ලෝකේ හරිම අසාධාරනයි

බෑ බෑ අම්මේ ඕකව නම් මම අතාරින්නෙ නෑ
ඌ හිතන් ඉන්නේ ඌ  මහලොකු චන්ඩිය කියල..
මටත් ඉන්නවනේ යාලුවෝ.. ඌත් යන්න එපැයි මහ පාරෙ

මම කියන දේ අහන්න පුතේ මේක මෙතනින් නවත්වන්න..
ඔයා දන්නේ නෑ අද ලෝකේ මිනිසුන්ගෙ හැටි තිරිසන්නු වගේ
මොනවයින් මොනවද උන් නොකරන්නේ?

මේක හරි වැඩක් නේ 
මම මගේ පාඩුවේ පාරේ යනකොට...
මට කතා කරල පාරේ බිම දාගෙන ගහපුවාම
අපි කටයි ..... වහගෙන ඉන්න ඕනෙද?
මම කිසිම විදිහෙ වරදක් කරල තියනවද උන්ට?
මේක මාර ලෝකයක්නේ.. හෙන ගහන අසාධාරනයක්නේ..
කාටවත් කරදරයක් නැතිව පාඩුවේ ඉන්න මිනිස්සුන්ට
එහෙම හිතෙන හිතෙන උන්ට ඇවිල්ලා ගහන්න පුලුවන් මොන රටේද?

ටියුෂන් පන්ති බෑගය වේගයෙන් මුල්ලකට වීසි කර
නොනවතින අම්මාගේ කියවිල්ල නොඇසෙන්නට රූපවාහිනියේ හඬ උපරිමයටම තීව්‍ර කලෙමි.
"1994  රුවන්ඩා මානව සංහාරයදී රුවන්ඩාවේ හුටු, ටුට්සි සමාන්‍ය වැසියන් අවම වශයෙන්
800 000ක් පමන ඝාතනය වූ අතර,
ඒ අතුරින් 300000 ක් පමන වයස අවුරුදු 12ට අඩු අහිංසක කුඩා දරුවන්ය.
එම සංහාරය වැළැක්වීමට එරට නිදහසට පෙර පාලනය කළ බෙල්ජියම ඇතුලු බටහිර රටවල් කිසිඳු හෝ ක්‍රියාමාර්ගයක් නොගත්හ. තවද.........."
මුලුතැන්ගේ සිටි අම්මාගේ නොනවතින කථාවේ අවසන් වාක්‍යද සමගාමීව විකාශනය වනු මට හොඳින් කන වැකුනි.
ලෝකේ හරිම අසාධාරනයි තමයි පුතේ...මෙහෙ වරෙන් ඔය මූනේ තැල්ම පොඩ්ඩක් උනු වතුරෙන් තවන්න.

Pages