Tuesday, November 13, 2012

මමද ආදරේ? මටද ආදරේ?


කාලයක් තිස්සෙ මම ආදරය කරපු කෙල්ලත් එක්ක, අන්තිමේදී මම යාලු වුනා...
ඒත් සම්බන්ධය නම් තිබුනෙ හරියටම මාසදෙකයි දවසයි.
ඒක ඉවරවෙලා දවස් දෙකකට පස්සෙ, අවුරුදු 5 ක ලව් එකක් කරගෙන යන කොල්ලෙක් මට කිව්ව...
"යාලු වෙනවනම් යාලු වෙයන් උඹ ආදරය කරන කෙල්ලෙක් එක්ක නෙමෙයි, උඹට ආදරය කරන කෙල්ලෙක් එක්ක නැත්නම් ඕක කවදාවත් හරියන්නෙ නම් නෑ"
ඊට අවුරුදු 3 යි මාස 5යි දවස් 23කට පස්සේ...
මට ආදරය කරන කෙනෙක් අන්තිමේදි මට හම්බ වුනා... අපි යාලු වුනා!
ඒත් ඒක තිබුනෙ හරියටම මාස දෙකයි දවස් තුනයි!
ඒ සම්බන්ධය නවත්වපු දවසෙ කෙල්ල මට කිව්වෙ...
"මම නම් ආයෙ කවදාවත්ම මට ආදරය කරන කෙනෙක් එක්ක මිසක් මම ආදරය කරන කෙනෙක් එක්ක යාළු නම් වෙන්නෙ නෑ"

Saturday, September 29, 2012

ඩුප්ලිකේට් අංජනම



ඕං.. ඒස්වාහ..... ඒස්වාහ... අංජනම් දේවතාවියගේ අනුහසින් ඔව් මට පේනවා
මට පේනවා.... යුෂුමතා පැවසූ ඒ නැති වුනු යතුර තිබෙනා ස්ථානය මට පෙනෙනවා...
ඔව් පෙනෙනවා නමුත් පැහැදිලි මදි.. අංජනම් දේවිය සතු‍ටු මදි...
තව පඬුරක් දමන්න යුෂ්මත...
මා ළඟ තිබුණු අවසාන රුපියයල් පන්සීයයේ කොළයත් බුලත් කොළ මත තැබුවෙමි.
ඕං.. ඒස්වාහ.. වර වර අංජනම් දේවී ඒස්වාහ!
ඔව් දැන් පැහැදිලියි. යතුර තිබෙනවා හොඳින් පැහැදිලියි ස්ථානය...
ඔව් කොළ පාට තීන්ත ආලේප කළ තට්‍ටු දෙකේ ගෙයක්...
ඉහළම තට්‍ටුවේ කාමරයක අල්මාරියක යතුර තියෙනවා...
ඔව්.. මට තවත් පේනවා.. ඔව් ඒ යතුරමයි..
අල්මාරියේ ලාච්චුවක පුංචි පෙට්ටියකයි... යතුර තියෙන්නේ...
අංජනම් දේවතාවිය අවසරයි...
මම හිතන්නේ ඔය අපේ ගෙදර!
ඔව් ඔව් යුෂ්මතාගේ ගෙදරමයි යතුර තියෙන්නේ! ගෙදරමයි! ගෙදරමයි!
සමාවෙන්න අංජනම් දේවිය මම දන්නවා ඔය කියන යතුර! ඔය ගෙදර අල්මාරියේ ලාච්චුවේ අරන්තියෙල තියෙන ඩුප්ලිකේට් යතුර!
තවත් යතුරක් තිබුණා ඒකයි නැති වෙලා තියෙන්නේ...
මේකත් ඒ යතුරමනේ.. මම හිතන්නේ අංජනම් දේවිට පොඩ්ඩක් පැටලෙන්න ඇති.

සංකල්පය - දිනුක පෙරේරා






Wednesday, September 19, 2012

සිහින හතක් දුටුවෙමි මම සත් දවසක් එක එක විලසට !


Breaking News - සැප්තැම්බර්, 19 - පෙ.ව. 9.33

අති ගරු ජනාධිපතිතුමන්ගේ අණින්, මෙතැන් සිට බලපැවැත්වෙන පරිදිවහාම  උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා එම තනතුරෙන් පහකොට තිබෙන අතර එම පුරප්පාඩුව පිරවීමට මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා අමාත්‍ය තුමා අනුයුක්ත කොට තිබෙනවා. ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු ලද විගස ඔබ වෙත ගෙන ඒමට අප සමඟ ‍රැඳීසිටින්න.

ලංකාදීප පුවත්පත - සැප්තැම්බර්, 20

ආචාර්යය මර්වින් සිල්වා අමාත්‍ය තුමා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ භාර ගනී.
"ජනාධිපතිතුමාගේ තීරනයට හිස නමනවා!" - ( හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු එස්.බී. දිසානායක මහතා)
"ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපනයේ මළගම අදයි" - ( විපක්ෂ නියෝජ්‍ය නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා)

News Just In ! - සැප්තැම්බර් , 20, ප.ව. 3.30

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ පිලිබඳ වැඩිදුර අදහස් දක්වන එතුමා,
"මම මුල සිටම මේ වැඩවර්ජනයට අකමැති වුනා , කිහිප දෙනෙක්ගේ දැඩි බලපෑම මතයි මෙතුවක් ක්‍රියා කලේ.. තව දුරටත් එහෙම වෙන එකක් නෑ.. අපේ රටේ දරුවන්ගේ අනාගතය බිල්ලට දෙන්න මම සූදානම් නෑ.."
මේ අතර එම  සම්මේලනයේ උප සභාපති පුජ්‍ය දඹර අමිල හිමියන් මේ වන විට විදේශගතව ඇති බවට විශ්වාසදායක ආරංචිමාර්ග තහවුරු කරනවා.

දිවයින පුවත්පත - සැප්තැම්බර්, 21

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය අවසන්! සැප්තැම්බර් 24 වනදා සිට ශ්‍රීලංකාවේ සියලු විශ්ව විද්‍යාලවල අධ්‍යන කටයුතු ආරම්භ වේ.
දේශප්‍රේමී විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සංසදයයේ  ෆීලික්ස් නෙම්සිරි ජයතිලක මහතා නව FUTA සභාපති ලෙස තේරී පත්වේ.

දිවයින පුවත්පත - සැප්තැම්බර් , 23

මැර බලයෙන්, තුවක්කුවලින් අපිව නවත්වන්න බෑ! ආචාර්යය වරුනට සිදුවූ අසාධාරනයට විරුද්ධව නැගී සිටිනවා! - ( අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල සංජීව බමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා.)

දිනමිණ පුවත්පත - සැප්තැම්බර්, 25

සියලුම විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් වැඩට වාර්තා කරයි.
සියලුම අධ්‍යන කටයුතු සුපුරුදු පරිදි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල සංජීව බමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අත් අඩංගුවට ගනී.

Breaking News! - සැප්තැම්බර්, 26, ප.ව. 4.30

උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු මර්වින් සිල්වා මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරනය කොට තිබෙනවා.. ඒ පිලිබඳ වැඩිදුර අදහස් දක්වන එතුමා..
"ඇත්තම කියන්න එපැයි මට ඔය ලොකු ලොකු තනතුරු දරන්න සුදුසුකමක් නෑ.. ජනාධිපතිතුමාගේ වචනේ අහක දාන්න බැරි නිසයි භාර ගත්තේ. මගේ රාජකාරියම මම අකුරටම ඉ‍ටුකළා! දැන් ඉතින් ඔය කළා ඇති මගෙ හිතේ.. S. B.  ඇමති තුමාටමම මේක දෙන එක හොඳයි."


Friday, July 20, 2012

ලෝකේ හරිම අසාධාරනයි

බෑ බෑ අම්මේ ඕකව නම් මම අතාරින්නෙ නෑ
ඌ හිතන් ඉන්නේ ඌ  මහලොකු චන්ඩිය කියල..
මටත් ඉන්නවනේ යාලුවෝ.. ඌත් යන්න එපැයි මහ පාරෙ

මම කියන දේ අහන්න පුතේ මේක මෙතනින් නවත්වන්න..
ඔයා දන්නේ නෑ අද ලෝකේ මිනිසුන්ගෙ හැටි තිරිසන්නු වගේ
මොනවයින් මොනවද උන් නොකරන්නේ?

මේක හරි වැඩක් නේ 
මම මගේ පාඩුවේ පාරේ යනකොට...
මට කතා කරල පාරේ බිම දාගෙන ගහපුවාම
අපි කටයි ..... වහගෙන ඉන්න ඕනෙද?
මම කිසිම විදිහෙ වරදක් කරල තියනවද උන්ට?
මේක මාර ලෝකයක්නේ.. හෙන ගහන අසාධාරනයක්නේ..
කාටවත් කරදරයක් නැතිව පාඩුවේ ඉන්න මිනිස්සුන්ට
එහෙම හිතෙන හිතෙන උන්ට ඇවිල්ලා ගහන්න පුලුවන් මොන රටේද?

ටියුෂන් පන්ති බෑගය වේගයෙන් මුල්ලකට වීසි කර
නොනවතින අම්මාගේ කියවිල්ල නොඇසෙන්නට රූපවාහිනියේ හඬ උපරිමයටම තීව්‍ර කලෙමි.
"1994  රුවන්ඩා මානව සංහාරයදී රුවන්ඩාවේ හුටු, ටුට්සි සමාන්‍ය වැසියන් අවම වශයෙන්
800 000ක් පමන ඝාතනය වූ අතර,
ඒ අතුරින් 300000 ක් පමන වයස අවුරුදු 12ට අඩු අහිංසක කුඩා දරුවන්ය.
එම සංහාරය වැළැක්වීමට එරට නිදහසට පෙර පාලනය කළ බෙල්ජියම ඇතුලු බටහිර රටවල් කිසිඳු හෝ ක්‍රියාමාර්ගයක් නොගත්හ. තවද.........."
මුලුතැන්ගේ සිටි අම්මාගේ නොනවතින කථාවේ අවසන් වාක්‍යද සමගාමීව විකාශනය වනු මට හොඳින් කන වැකුනි.
ලෝකේ හරිම අසාධාරනයි තමයි පුතේ...මෙහෙ වරෙන් ඔය මූනේ තැල්ම පොඩ්ඩක් උනු වතුරෙන් තවන්න.

Monday, June 11, 2012

මම මැරයෙකි, චන්ඩියෙකි.

මේ ලෝකයේ හොඳ සහ නරක මිනිසුන් ලෙස දෙපිරිසක් වර්ග කර දැක්වීම විහිලුවක්
සිටින්නේ දෙපිරිසක් නොව තෙපිරසකි.
ඔවුන් නම්....
1. නරකට නරක කරන පිරිසත්,
2. නරකට හොඳ කරන පිරිසත්,
3. නරකට කිසිවක් නොකර සිටින පිරිසත්මය,

පළමු කාණ්ඩය, චන්ඩින් සහ මැරයන් ලෙසද,
දෙවන කාණ්ඩය, සුපිරි ධර්මිෂ්ටයන් ලෙසද,(ජේසු තුමා)
තෙවන කාණ්ඩය නෝන්ජලයන් ලෙසද,
සමාජයේ බහුතර ජනතා මතය අර්ථ දක්වයි...

සුපිරි ධර්මිෂ්ටයෙක්  වීම මට සිහිනයකි
නෝන්ජලයෙකු වීමද මට අවමානයකි
එසේ නම් වෙන කුමක් කරන්නද?
මම මැරයෙකි, චන්ඩියෙකි.

Friday, June 1, 2012

කණාමැදිපිරිමියා


                                                           කණාමැදිරියා හරිම අමුතුම සතෙක්ලු
කණාමැදිරියා ජීවත් වෙන්නේ හරියටම සතියක් හෝ දෙකක් වගේ කාලයක් විතරයිලු
                         ඉපදිලා දවස් 2ක් 3ක් ඇතුළත මූ පරිණත වැඩිහිටි කණාමැදිරියෙක් වෙනවාලු
ඉතින් එදා ඉඳල මැරෙනකන්ම ඌගේ පශ්චාත් ප්‍රදේශයේ තියෙන ලයිට් එක හැම තිස්සෙම ඕන් ඔෆ් ලු
..........................ඇයි කියල දන්නවාද මෙයා මේ විදිහට ලයිට් ඕන් ඕෆ් කරන්නේ..............................
ලයිට් එක ඕන් ඕෆ් කරල පොඩි වැඩ කිඩ ටිකක් දාලලු මෙයා කණාමැදිරි කෑල්ලක් සෙට් කර ගන්නේ
කොහොමහරි කෑල්ලටත් මෙයාගේ ලයිට් ඕන් ඔෆ් කිරිල්ල,
 හිතට ඇල්ලුවොත් විතරලු පොරත් එක්ක සෙට් වෙන්නේ.
එක කෑල්ලක් සෙට් කර ගත්තා කියල,
 කණාමැදිරියා කවදාවත්ම උගේ ලයිට් එක ඕන් ඕෆ් කරන එක නම් නවත්වන්නේ නෑලු.
ප.ලි.
මම මේ කල්පනා කලේ මිනිස් පිරිමි සත්ත්වයත් හරියටම කණාමැදිරියෙක් වගේ නෙමෙයිද?
ඕනෑම මිනිස් පිරිමි සතෙක් වයස අවුරුදු 15 විතර පටන් ගන්න මේ ලයිට් ඕන් ඕෆ් කරන සෙල්ලම අවුරුදු 60ක් විතර වෙන මුලු ජීවිත කාලය ඉවර වෙනකන්ම කරනවනේ.
කොහොම හරි අන්තිමට මිනිස් ගැහැනු සතෙක් සෙට් වුනා කියමුකෝ....
ඒත් එහෙම කියල හරිම සුලු පිරිසකගෙ නේද  ලයිට් එක සදාකාලිකව ඔෆ් වෙන්නේ..
බහුතරයකගේ නැවත නැවතත් ඕන් ඔෆ් වෙනව නේද?.....

Monday, March 12, 2012

හ්ම්ම්.... දුකයි ඇත්තටම....

ලැජ්ජාවෙන් ඇඹරුනු නිදාබර වූ ඒ දෙනෙත් නම්,

නෑ තව දුරටත් පෙනෙන්නට,

සීරුවෙන් පේලියට සකසන ලද නෙත් බැමිද,

ලා අළු වර්ණයෙන් දුර්වර්ණ ගැන්වූ නෙත් අගද,

ඇත….. තිබුනු ඒ නෙත් වෙලාගෙන,


සුදුම සුදු මූනේ තැනින් තැන වූ ඒ ගෝමර නම්,

නෑ තව දුරටත් දකින්නට,

ගෝමර යටකර මුහුන පුරා අතුරා ඇති ආලේපන තට්‍ටුවද,

දෙතොල්,දෙකොපුල් පමණක්ම තද රතු කළ සායම් වර්ණද,

ඇත….. තිබුනු ඒ මුහුනත යට කරගෙන,


දිගම දිග ක්‍රමවත්ව ගොතන ලද ඒ කොන්ඩා කැරලි දෙක නම්,

නෑ තව දුරටත් දෙපසට වැනෙන්නට,

ගැට ලිහුනු,දිග ඇදුනු උරහිස තෙක් වූ කේෂ කලාපයද,

මොහොතක් පාසා නලල් තලයට පතිත වන අසාමාන්‍ය කෙස් රොදද,

ඇත….. තිබුනු ඒ කේෂයන් මට්‍ටු කරගෙන


වසරකට පෙර දු‍ටු ඒ දසුන බිහිකල අහිංසක ආදරය නම්,

නෑ තව දුරටත් හැ‍ඟෙන්නට,

පසන් සිතකටත් අනුරාගය ජනිත කරවන ලෙසටද,

හැඩ ගැන්වූ තවත් එක් අහිංසකාවියක් සැඩ සමාජ ‍රැල්ලට හසුව ගසාගෙන යනු,

ඇත….. ඉවුර මත වූ මට අත වනාගෙන

Monday, March 5, 2012

GOD bless you ! හවස 6 ට 10 ක් තියල...

පසුකර ගියේ හුරුපුරුදු මූහුනක් බව වැටහුනේ මොහොතකට පසුවය...
එසැනින් සෙමෙන් තිරිංග තද කොට වම් පස අයිනට සිව් සකයේ වේගය මද කලෙමි..
ඔහු ඉදිරියට ඇදෙනු වම් රිය දර්පණයෙන් මදක් බලාසිට ඉදිරිපස වම් වීදුරුව පහත් කොට,
කොහෙද යන්නේ...
අවසර නොමැතිවම පසු දොර විවර කොට ගොඩ වන ගමන්ම..
ආ මේ... mass එකට යනවා..
මෙහෙ..... කොහෙද? chuch එක.. සෙනසුරාදා?
ආ මෙතන තියෙනවානේ අර පොඩි church එකක්
වැඩිය සෙනග නෑ 100 150 ක් වගේ ඉන්නෙ..
ඇයි අපේ church එකේ mass එක තියෙන්නෙ හෙට..
අපෝ...
6.30 a.m. එක පොඩ්ඩක් නින්ද ගියොත්.. bench එක miss වෙනවා ඉතින් දන්නවනේ bench එකක් නැති වුනොත් හිටන් ඉඳලම එපා වෙනවා..
8.00 එකට නම් මම යන්නෙම නෑ මොකද කිසිම වැඩක් නෑ දහම් පාසල් පොඩි උන්ගේ mass එකනේ..
මේක ගොඩක් ලේසියි මොකද හරියටම 5.00 mass එක පටන් ගන්නවා
හරියටම 6.00 ට 10 minutes තියල ඉවර වෙනවා...
ඒ අතින් මේ mass එක හුඟක් වටිනවා..
මෙතනින් මාව drop කරන්න..
thanx...GOD bless you..
---------------------------------------------
GOD bless you

Monday, January 30, 2012

ඔයත් මම වගේම මහා මෝඩයෙක්ද ?

අපේ අම්මා... අපේ තාත්තා... මට පොඩි කාලේ... හැම තිස්සෙම
"පුතේ අපි මෙහෙමයි ජීවත් වෙන්න ඔනේ කියල මට කියල දුන්නා"
මමත් ඒ විදිහටම මෙච්චර කාලයක් ජීවත් වුනා..
ඉඳල හිටලා පාරෙන් පොඩ්ඩක් පිට පැන්නත්.. ඒ බව වැඩි දෙනෙක් දකින්නත් කලින්ම මම නැවතත් පට ගාලා හරි පාරට ආව බව දන්නෙත් මම විතරමයි..
පිට පැනපු දවස් ගැන මම ඒ දවස් වල ගොඩක් දුක් වුන බවත් මට හොඳට මතකයි....
ඒත්......................................
මට මේ ලඟකදී ඉඳන් පොඩි නෙමෙයි ලොකු වෙනසක් තේරෙනවා...
මට ඒක අකුරු වචන පේලි ගොඩක් අස්සට හිර කරන්න නම් හරිම අමාරුයි..
"පුතේ අපි මෙහෙමයි ජීවත් වෙන්න ඔනේ " කියල කිව්වට මම දකින දකින හැම තැනකම කිසිම කෙනෙක් ඒ විදිහට ජීවත් වෙනව නම් දැන් මට පේන්න නෑ....
හැම දෙනාම ඒ ඒ අයට හිතෙන හිතෙන දේ විතරමයි කරන්නෙ.. ඉස්කෝලේ යන පොඩි එකාගේ ඉඳන් ලමයි තුන් හතරදෙනෙක් ඉන්න අම්මා කෙනෙක් වෙනකනුත් ඉන්න හැම දෙනාම තමාගේ සතුට වෙනුවෙන් ඕනම දෙයක් කරනවා කිසිම බයක් හැකක් නැතිව... වැඩේ කියන්න්නේ බාගෙට බාගයක් උන් කරන ඒවා හරි කියලත් කියනවානේ. ඒව ගැන කවුරුත් එහෙමට කතා කරන්නෙවත් නෑ...
පුදුමයි...................................
වැඩේ කියන්නෙ ඇයි මට මේ දේවල් පේන්න මෙච්චර කාලයක් ගියේ
මම විතරද එතොකොට තවමත් මහා අමාරුවෙන් අපේ අම්මා තාත්තා කියපු විදිහට ජීවත් වෙන්න හදන්නේ...
මේක මහා විකාරයක්නේ
මම මහ මෝඩයෙක්......

Thursday, January 19, 2012

....ලෝක..බයිල....

අපේ අම්මා මට කියන හැම දේම එයා මම කාලේ එයා ඒ විදිහටම කරලාම තියෙනවාද?
අපේ තාත්තා ලෝකේ මෙහෙමයි ඉන්න ඔනේ කියලා මට කිව්වට,
එයා ඒ විදිහටම ඒ කාලේ හිටිය කියල කාට හරි ෂුවර් එකටම කියන්න පුලුවන්ද?
අපේ සර් කියන බයිලත්, එයා කරලා පෙන්නනන්නේ අපි ඉස්සරහදී විතරයි කියලා,
මමයි සර්'රුයි දෙන්නමත් දන්නවා....
අනික මේ ඔක්කොම කියන දේවල් ඒ විදිහටම කලේ නෑ කියල ඔය උඩදි කියපු උදවියට,
මේ පොලොවේ පයගහල ඉන්න බැරි වුනාද?
ඉතින් මම දැන දැනමත් මෙහෙම වෙන ලෝකෙක ඔය කවුරුත් කියන නිසා......
මේ වෙලාවේ මම විඳින ඒ සතුට නැති කරගන්නේ මොන මගුලකටද?

Pages